කල්මුණ පොලිස් වසමේ මාදවන් පාර ප්‍රදේශයේදී කිසිදු බලපත්‍රයක් නොමැතිව ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ඊයේ (06) දින කල්මුණ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම ඩීසල් තොගය සොයාගැනීමට හැකි විය. එහිදී බැරල් 22ක අසුරා තිබූ ඩීසල් ලීටර් 4620ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු කාර්තිව් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත. පවතින ඉන්ධන රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙතරම් විශාල ඩීසල් තොගයක් රැස්කර තබාගැනීමේ අරමුණ සහ මෙයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් පිළිබඳව කල්මුණ පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














