සොරකම් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයකින් පොලිසිය මගහරිමින් පලාගිය 14 සහ 16 හැවිරිදි පිරිමි ළමයින් දෙදෙනෙකු අද (07) අලුයම ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් මධ්‍යම වෙරළබඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය අප්‍රේල් 5 වනදා බෝමන්ට් හිල්ස් (Beaumont Hills) ප්‍රදේශයේ නිවසකින් සොරකම් කරන ලද සුදු පැහැති අවුඩි (Audi) වර්ගයේ මෝටර් රථයක් පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම සිදුවීම ආරම්භ වී ඇත. අද අලුයම 1:45 ට පමණ සිඩ්නි නුවර සැන් සූසි (Sans Souci) ප්‍රදේශයේදී පළමු හඹා යාම ආරම්භ වුවද, ආරක්ෂක හේතූන් මත පොලිසිය එය අතරමග නතර කර තිබේ.
අනතුරුව අද උදෑසන 6:00 ට පමණ මෙම රථය පැසිෆික් මෝටර් රථ මාර්ගයේ (Pacific Motorway) ධාවනය වෙමින් තිබියදී රථවාහන පොලිසිය විසින් යළිත් හඹා යාමක් ආරම්භ කරන ලදී. එහිදී ද අතිශය වේගයෙන් සහ අනතුරුදායක ලෙස රිය ධාවනය කිරීම නිසා පොලිසියට එම මෙහෙයුම ද තාවකාලිකව නතර කිරීමට සිදුවිය. කෙසේ වෙතත්, උදෑසන 6:20 ට පමණ අවුරිම්බා (Ourimbah) ප්‍රදේශයේදී මෙම මෝටර් රථය පාලනය කරගත නොහැකිව ගසක හැපී අනතුරට ලක්ව ඇති අතර, එහි සිටි පිරිස රථය අතහැර පලාගොස් තිබේ.
පොලිස් නිල සුනඛ සංචිතයේ (Dog Squad) සහාය ඇතිව සිදුකළ මෙහෙයුමකින් පසු, පෙරවරු 7:00 ට පමණ අනතුර සිදුවූ ස්ථානයට නුදුරින් සැඟව සිටි නව යොවුන් දරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඔවුන් දෙදෙනා මේ වන විට ගොස්ෆර්ඩ් (Gosford) පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














