ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හුදෙක් කලාපීය ආරක්ෂක ගැටලුවක් පමණක් නොව, එය සමස්ත ලෝක ආර්ථික පද්ධතියම අස්ථාවර කරන “පද්ධතිමය කම්පනයක්” (Systemic Tremor) බවට පත්ව ඇති බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අනතුරු අඟවයි. දිල්ලි නුවර පැවැති රාජ්‍ය මූල්‍ය හා ප්‍රතිපත්ති පිළිබඳ ජාතික ආයතනයේ (NIPFP) ස්වර්ණ ජයන්ති උත්සවය අමතමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
පවතින අර්බුදය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම් මාර්ගවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති අතර, එය ලෝක දේශපාලන පෙළගැස්ම අලුතින් හැඩගස්වමින් පවතින බව ඇය පෙන්වා දුන්නාය. මැදපෙරදිග ගැටුම උත්සන්න වීම ලෝක බලශක්ති ක්ෂේත්‍රයේ “ජීව රුධිරය” බඳු සැපයුම් ජාලයන්ට හානිකර ලෙස බලපාන අතර, එමඟින් නව බහුධ්‍රැවීය ලෝක රටාවක් නිර්මාණය වෙමින් පවතින බව ද ඇය සඳහන් කළාය.
ලෝක ආර්ථිකය මේ වන විට හුදකලා කම්පනවලින් මිදී “ස්ථිර අස්ථාවරත්වයක” (Permanent Volatility) අදියරකට පිවිස ඇති බව අමාත්‍යවරිය අවධාරණය කළාය. විශේෂයෙන්ම මෙම වසරේ පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ සැපයුම් දාමයන් සුරක්ෂිත කර ගැනීම ලෝකයේ සෑම රටකටම අසීරු කාර්යයක් වනු ඇති බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.














