ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන වලිබල් ෆිනෑන්ස් සමාගම, සිය Tier I ප්‍රාග්ධන පදනම ශක්තිමත් කරමින් ඉදිරි ව්‍යාප්ති කටයුතු සඳහා රුපියල් බිලියන 2.12ක මුදලක් රැස් කිරීමට සැලසුම් කර තිබේ. හිමිකම් නිකුතුවක් (Rights Issue) හරහා සිදුකෙරෙන මෙම ප්‍රාග්ධන සම්පාදනය යටතේ රුපියල් 72 බැගින් නව සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් 29,431,675ක් නිකුත් කිරීමට නියමිතය. දැනට සිටින කොටස් හිමියන්ට ඔවුන් සතු සෑම කොටස් 8ක් සඳහාම එක් නව කොටසක් බැගින් මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව හිමි වේ.
සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගමුව මහතා පවසන පරිදි, 2007 වසරේ සිට ක්‍රමානුකූලව වර්ධනය වූ වලිබල් ෆිනෑන්ස් සමාගම මේ වන විට රුපියල් බිලියන 100ක දත්කම් සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මෙරට ප්‍රමුඛතම මුල්‍ය සමාගම් 5 අතරට ද පිවිස ඇත. දිවයින පුරා විහිදුණු ශාඛා 87ක් සහ 2,200කට අධික සේවක පිරිසකගෙන් සමන්විත මෙම සමාගම, නව ප්‍රාග්ධන සම්පාදනය හරහා සිය ණය ලබාදීමේ හැකියාව තවදුරටත් පුළුල් කිරීමටත්, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාරිභෝගික සේවාවන් ඉහළ නැංවීමටත් අපේක්ෂා කරයි. අභියෝගාත්මක ආර්ථික වටපිටාවක වුවද අවම අක්‍රීය ණය අනුපාතයක් (NPL) පවත්වාගෙන යාමට සමාගම සමත්ව ඇති අතර, මෙම නව පියවර මඟින් ආයෝජක විශ්වාසය තවදුරටත් තහවුරු වනු ඇතැයි විශ්වාස කෙරේ.














