ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඩිම්බුලා ප්‍රදේශයට බටහිරින් පිහිටි නිවසක ගෙවත්තේ මළ සිරුරක් පුළුස්සමින් සිටි 37 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මිනීමැරුම් චෝදනා එල්ල කර තිබේ. පසුගිය මාර්තු 24 වනදා ස්ටොක් පාරේ (Stock Road) පිහිටි අදාළ නිවසට පොලිසිය පැමිණ ඇත්තේ එහි පදිංචිකරුවෙකුගේ සුවදුක් විමසීමේ (Welfare check) පරීක්ෂාවකටය. එහිදී නිවසේ පසුපස මිදුලේ ගිනිගොඩක් දල්වා තිබෙනු දුටු පොලිස් නිලධාරීන්ට එහි තිබී මිනිස් සිරුරක අවශේෂ හමුවී ඇත.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 70 හැවිරිදි පිලිප් වොරන් හෙව්ලට් (Phillip Warren Hewlett) නැමැති පුද්ගලයෙකි. මෙම ඝාතනය සම්බන්ධයෙන් ට්‍රිස්ටන් බන්කල් (Tristan Buncle) නැමැති අයෙකුට මිනීමැරුම් චෝදනා සහ මළ සිරුරකට අගෞරව කිරීමේ (Misconduct with corpse) චෝදනා යටතේ නඩු පවරා තිබේ. සැකකරු සහ මියගිය පුද්ගලයා එකිනෙකා හඳුනන අය බවත්, මෙය පවුල් අභ්‍යන්තර ප්‍රචණ්ඩත්වයට (Domestic violence) සම්බන්ධ සිදුවීමක් බවත් පොලිසිය තහවුරු කළේය.
මෙම අතිශය කනගාටුදායක සහ භීතිජනක සිදුවීම පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම් වහාම පොලිසිය දැනුවත් කරන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා ඇත.













