ඕස්ට්‍රේලියාවේ ජීවත්වන වැඩිම යුද ගෞරව සම්මානලාභී සෙබළා වන බෙන් රොබට්ස්-ස්මිත් (Ben Roberts-Smith), ඇෆ්ගනිස්ථානයේ සේවය කරමින් සිටියදී සිදුකළ බව කියන යුද අපරාධ මිනීමැරුම් පහක් සම්බන්ධයෙන් අද (07) පෙරවරුවේ සිඩ්නි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 47 හැවිරිදි මෙම “වික්ටෝරියා ක්‍රොස්” (Victoria Cross) සම්මානලාභියා බ්‍රිස්බේන් සිට සිඩ්නි බලා පැමිණි අවස්ථාවේදී ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ විශේෂ විමර්ශන කාර්යාලය (OSI) පවසන පරිදි, රොබට්ස්-ස්මිත්ට එරෙහිව 2009 සහ 2012 වසරවලදී සිදුවූ සිදුවීම් තුනකට අදාළව චෝදනා ගොනු කිරීමට නියමිතය. මෙම චෝදනා සනාථ වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය හැකිය. මින් එක් සිදුවීමක් වන්නේ 2012 වසරේදී අලි ජාන් (Ali Jan) නැමැති නිරායුධ ඇෆ්ගන් වැසියාට පයින් පහර දී ප්‍රපාතයකට ඇද දමා, පසුව වෙනත් සෙබළෙකු ලවා ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමයි. අනෙක් සිදුවීම් 2009 වසරේ ‘Whiskey 108’ සහ 2012 වසරේ ‘Syahchow’ යන ස්ථානවලදී සිදුවූ පුද්ගල ඝාතන බව වාර්තා වේ.
පොලිස් කොමසාරිස් ක්‍රිසි බැරට් සඳහන් කළේ, අදාළ වින්දිතයන් මරා දමන අවස්ථාවේදී ඔවුන් කිසිදු සටනකට සම්බන්ධ නොවූ, නිරායුධව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ භාරයේ සිටි පිරිසක් බවයි. 2021 වසරේ සිට ක්‍රියාත්මක වූ මෙම සංකීර්ණ විමර්ශනය, යුද බිමක සාක්ෂි සෙවීමේ පවතින දුෂ්කරතා මධ්‍යයේ වුවද වෘත්තීය මට්ටමින් සිදුකර ඇති බව බලධාරීහු පවසති. මීට පෙර පුවත්පත් කිහිපයකට එරෙහිව රොබට්ස්-ස්මිත් පැවරූ අපහාස නඩුවකින් ද ඔහු පරාජයට පත්වූ අතර, එහිදී ද ඔහු යුද අපරාධවලට සම්බන්ධ බවට සාක්ෂි ඉදිරිපත් විය. සැකකරු අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














