මැලේසියානු ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (MICCI) නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ පවතින සෘජු විදේශ ආයෝජන (FDI) අවස්ථා පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය. තොරතුරු තාක්ෂණය, බැංකු ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය සහ සෞඛ්‍ය සේවා ඇතුළු විවිධ අංශ නියෝජනය කරමින් පැමිණි මෙම 15 දෙනෙකුගෙන් යුත් දූත පිරිස මෙහෙයවනු ලැබුවේ පිනැන්ග්හි මැලේසියානු ඉන්දියානු වාණිජ මණ්ඩලයේ සභාපති දාතෝ එස්. පාර්තිබන් මහතා විසිනි. කොළඹ වරාය නගරය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් මෙහිදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය සහ පවතින පහසුකම් පිළිබඳව විදේශීය ආයෝජකයන් දැනුවත් කරන ලදී.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය හෑන්ස් විජයසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ කර්මාන්ත 4.0 (Industry 4.0) ඉලක්ක කරගත් ජාතික සැලසුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි. මැලේසියානු නියෝජිත පිරිස විශේෂයෙන්ම සූර්ය බලශක්ති විසඳුම් සහ දත්ත මධ්‍යස්ථාන ඇතුළු තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි සිය දැඩි උනන්දුව පළ කර ඇත. කටුනායක අපනයන සැකසුම් කලාපයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ මෙම පිරිස, මෙරට කාර්මික වටපිටාව පිළිබඳව සෘජු අත්දැකීම් ලබාගත් අතර මෙම සංචාරය දෙරට අතර ආයෝජන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සමත් වී තිබේ.














