ඉරානය විසින් වෙඩි තබා බිම හෙළන ලද ඇමෙරිකානු F-15E යානයේ නියමුවෙකු බේරා ගැනීමේ රහසිගත මෙහෙයුම පිළිබඳ තොරතුරු මාධ්‍යයට ලබා දුන් පුද්ගලයා හෙළි කරන ලෙසත්, එසේ නොමැති නම් අදාළ මාධ්‍යවේදියාට සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති බවටත් ඇමෙරිකානු ජනාධිපති දොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. පසුගිය සඳුදා පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම පුවත කලින් වාර්තා කිරීම හේතුවෙන් දෙවන ගුවන් නියමුවා බේරා ගැනීමේ මෙහෙයුම දැඩි අවදානමකට ලක් වූ බවයි.
පසුගිය සිකුරාදා ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබූ ඇමෙරිකානු ප්‍රහාරක යානයක් ඉරාන මිසයිල ප්‍රහාරයකින් බිම හෙළන ලද අතර, එහි සිටි නියමුවන් දෙදෙනා සෙවීමේ මෙහෙයුම පැය හතක් පුරා ක්‍රියාත්මක විය. ඉන් එක් නියමුවෙකු බේරාගත් බවට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කර තිබුණි. මෙම තොරතුරු ලබා දුන් මූලාශ්‍රය (Source) හෙළි කරන ලෙස ජනාධිපතිවරයා බල කර සිටියද, ට්‍රම්ප් ඉලක්ක කරන්නේ කුමන මාධ්‍ය ආයතනයක් හෝ කුමන මාධ්‍යවේදියෙක්ද යන්න මෙතෙක් පැහැදිලි නැත.
කෙසේ වෙතත්, අවසානයේදී දෙවන ගුවන් නියමුවා ද සාර්ථකව බේරා ගැනීමට ඇමෙරිකානු හමුදා සමත් විය. මාධ්‍ය නිදහසට බාධා කරමින් මාධ්‍යවේදීන්ට මෙලෙස තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ද මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.














