ටෙස්ලා සමාගමේ පූර්ණ ස්වයංක්‍රීය රිය පැදවීමේ (Full Self-Driving – FSD) පද්ධතියේ දෘඩාංග පරම්පරා දෙක අතර (HW3 සහ HW4) කාර්යසාධනයේ කැපී පෙනෙන පරතරයක් නිර්මාණය වෙමින් පවතින බව නවතම විශ්ලේෂණයකින් හෙළි වී තිබේ. විද්‍යුත් වාහන පිළිබඳ පුවත් වාර්තා කරන “Cleantechnica” ආයතනය විසින් සිදුකළ දීර්ඝකාලීන පරීක්ෂණයකට අනුව, පැරණි HW3 දෘඩාංග සහිත වාහනවලට වඩා අලුත්ම HW4 දෘඩාංග සහිත වාහන ඉතා ඉහළ මට්ටමක පවතින බව තහවුරු වී ඇත.
2019 වසරේ නිෂ්පාදිත HW3 දෘඩාංග සහිත මාදිලි වසර ගණනාවක මෘදුකාංග යාවත්කාලීන කිරීම්වලින් පසුව වුවද, ගරාජ් තුළට වාහනය ඇතුළු කිරීම සහ පිටතට ගැනීම, නිවැරදි මංතීරු තේරීම සහ පාසල් කලාප තුළ වේගය පාලනය කිරීම වැනි අවස්ථාවලදී තවමත් යම් යම් දුර්වලතා පෙන්වයි. විශේෂයෙන්ම විශාල රථගාල්වල හිස් ඉඩක් සොයාගෙන වාහනය ගාල් කිරීමේදී HW3 තාක්ෂණය අපේක්ෂිත මට්ටමට පැමිණ නොමැති බව එම වාර්තාවේ සඳහන් වේ.
ඊට ප්‍රතිවිරුද්ධව, 2024 වසරේ සිට හඳුන්වා දුන් HW4 දෘඩාංග සහ අධි-විභේදන (High-resolution) කැමරා සහිත වාහන, FSD V14 මෘදුකාංගය සමඟ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ. පරීක්ෂණ චාරිකාවලදී මෙම වාහන ගමනාන්තය දක්වා 100%ක්ම ස්වයංක්‍රීයව ගමන් කළ අතර, වාහනය කැඳවීමේ (Summon) පහසුකම සහ රථගාල්වල වාහනය නතර කිරීමේ හැකියාව ද කැපී පෙනෙන ලෙස දියුණු වී තිබේ. පැරණි HW3 වාහන සඳහා ‘V14-Lite’ වැනි මෘදුකාංගයක් ඉදිරියේදී හඳුන්වා දෙනු ඇතැයි විශ්වාස කළද, ටෙස්ලා සමාගම ඒ පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැත.














