ආපදා අවදානම් කළමනාකරණය වඩාත් විධිමත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) මුසු කළ නවීන පූර්ව දැනුම්දීමේ යෙදවුමක් (App) හඳුන්වා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ. ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන “දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය” යටතේ නිපදවා ඇති මෙම යෙදවුම, පරිගණක මෙන්ම ජංගම දුරකතන ඔස්සේ ද භාවිත කළ හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 50කට අධික සංඛ්‍යාවක දත්ත එක් වේදිකාවක් තුළ විශ්ලේෂණය කිරීම මෙහි විශේෂත්වයයි.
මෙම නව පද්ධතිය හරහා ආපදා පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම, හදිසි මෙහෙයුම් කළමනාකරණය සහ ආයතන අතර සම්බන්ධීකරණය වඩාත් වේගවත් වනු ඇත. විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ ජනතාවට ආපදා තොරතුරු කඩිනමින් ලබා දීමට මෙහිදී ප්‍රමුඛතාව හිමි වේ. යෙදවුම හඳුන්වාදීමේ අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටි අතර, මෙමඟින් මෙරට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.














