සෞදි අරාබිය සහ බහරේනය යා කරන එකම ගොඩබිම් මාර්ගය වන කිලෝමීටර් 25ක් දිගැති ‘කිංග් ෆාඩ් කොස්වේ’ (King Fahd Causeway) පාලම දින නියමයක් නොමැතිව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. සෞදි අරාබියේ නැගෙනහිර පළාත ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර සැලකිල්ලට ගෙන, ආරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගත් මෙම හදිසි පියවර හේතුවෙන් දෙරට අතර ගොඩබිම් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.
මේ අතර මැදපෙරදිග කලාපයේ උණුසුම තවදුරටත් ඉහළ නංවමින්, හෝමුස් සමුද්‍ර සන්ධිය අද රාත්‍රිය වන විට විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර සහ පාලම් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය ප්‍රකාශ කර ඇත්තේ තම යටිතල පහසුකම්වලට හානි කළහොත් ඉතා දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි. මෙම තත්ත්වය හමුවේ ජාත්‍යන්තර දේශපාලන සහ ආරක්ෂක වටපිටාව දැඩි අර්බුදකාරී මුහුණුවරක් ගෙන තිබේ.














