යුරෝපීය සංගමය (European Union) සිය ආරක්ෂක පද්ධතිය නවීකරණය කිරීම සඳහා ‘AGILE’ (Programme for Agile and Rapid Defence Innovation) නමින් නව වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබේ. යුක්රේන-රුසියානු යුද්ධය සහ වර්තමාන ඉරාන යුදමය වාතාවරණය තුළ පැරණි අවි ආයුධවල පවතින අකාර්යක්ෂමතාවය හඳුනා ගැනීමෙන් අනතුරුව, කෘත්‍රිම බුද්ධිය (AI), ඩ්‍රෝන රංචු (Drone swarms) සහ ක්වොන්ටම් තාක්ෂණය වැනි නවීන යුද මෙවලම් වේගයෙන් සංවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
යුරෝ මිලියන 115ක ආයෝජනයක් සහිත මෙම ව්‍යාපෘතිය හරහා යුරෝපීය සංගමය බලාපොරොත්තු වන්නේ පර්යේෂණාගාර මට්ටමින් පවතින තාක්ෂණයන් ඉතා කෙටි කලකින් සැබෑ යුද පිටියට හඳුන්වා දීමටයි. මීට පෙර යුරෝපීය ආරක්ෂක අරමුදල (European Defence Fund) වැනි ක්‍රමවේදයන් පැවතියද, ඒවා ඉතා මන්දගාමී සහ දැඩි නීතිරීතිවලට යටත් වූ ඒවා බවට විවේචන එල්ල වූ බැවින් මෙම නව ‘AGILE’ වැඩපිළිවෙළ හඳුන්වා දී ඇත.
මෙම නව වැඩපිළිවෙළෙහි සුවිශේෂී ලක්ෂණය වන්නේ නව නිපැයුම් පර්යේෂණ මට්ටමේ සිට ක්‍රියාකාරී මට්ටමට කඩිනමින් රැගෙන ඒමට ඇති වේගය සහ නම්‍යශීලී බවයි. එමෙන්ම අනාගත ආරක්ෂක තර්ජනවලට මුහුණ දීම සඳහා ඉහළ අවදානමක් සහිත නමුත් විප්ලවීය වෙනසක් කළ හැකි තාක්ෂණයන් සඳහා මෙහිදී ප්‍රමුඛත්වය ලබා දෙනු ලැබේ. තවද පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා පද්ධති සහ ආරක්ෂිත සන්නිවේදන පද්ධති සමඟ මෙම නවීන අවි පද්ධතීන් ඒකාබද්ධ කිරීම මඟින් නවීන තාක්ෂණික එකමුතුවක් ගොඩනැගීමට ද අපේක්ෂිතය. නූතන යුද පිටිය යනු හුදෙක් අවි ආයුධ ප්‍රදර්ශනයක් නොව තාක්ෂණික සටනක් බව හඳුනා ගනිමින්, යුරෝපීය සංගමය මෙම පියවර ගෙන ඇත්තේ ගෝලීය ආරක්ෂක තරඟය තුළ සිය ස්ථානය තහවුරු කර ගැනීම සඳහාය.














