ඉරානය සහ ඇමෙරිකා-ඊශ්‍රායල හවුල්කාරීත්වය අතර පවතින යුදමය උණුසුම තීරණාත්මක අදියරකට පැමිණීමත් සමඟ, සවුදි අරාබිය සහ බහරේනය යා කරන ප්‍රධානතම ගොඩබිම් මාර්ගය වන කිංග් ෆාඩ් පාලම (King Fahd Causeway) ආරක්ෂක පියවරක් ලෙස අද (අප්‍රේල් 07) තාවකාලිකව වසා දමා තිබේ. කිලෝමීටර් 25ක් දිගැති මෙම දැවැන්ත පාලම් පද්ධතිය හරහා වාහන ගමනාගමනය අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත්තේ කලාපය තුළ මතුව ඇති ආරක්ෂක තර්ජන සැලකිල්ලට ගනිමිනි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ යටිතල පහසුකම් විනාශ කරන බවට පනවා ඇති අවසාන කාලසීමාව (Deadline) අද රාත්‍රියෙන් අවසන් වීමට නියමිත අතර, මේ හේතුවෙන් පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින අනාරක්ෂිත බව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත. සවුදි අරාබිය සහ බහරේනය අතර පවතින මෙම ප්‍රධාන වෙළඳ සහ ප්‍රවාහන සබඳතාව අත්හිටුවීම කලාපීය ආර්ථිකයට ද බලපෑම් එල්ල කළ හැකි බව විචාරකයෝ පවසති.
ඉරානය විසින් එල්ල කළ හැකි ප්‍රතිප්‍රහාරයන් පිළිබඳව නිකුත් කර ඇති ආරක්ෂක අනතුරු ඇඟවීම් (Security alerts) මධ්‍යයේ මෙම පියවර ගෙන ඇති අතර, මෙය ඇමෙරිකා-ඉරාන යුද්ධයේ 39 වැනි දිනය වන අද දිනයේ වාර්තා වූ තවත් එක් සුවිශේෂී වර්ධනයකි.














