Meta (ෆේස්බුක්) සමාගම සිය කෘත්‍රිම බුද්ධි (AI) සහ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික අංශ සඳහා දක්ෂයන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් අතිවිශාල මූලික වැටුප් ලබා දෙන බව එරට සේවා වීසා (H-1B) අයදුම්පත් විශ්ලේෂණයකින් හෙළි වී තිබේ. මෑතකදී නිකුත් වූ වාර්තා අනුව, ඇතැම් AI ඉංජිනේරු භූමිකාවන් සඳහා වසරකට ඇමෙරිකානු ඩොලර් 650,000ක (රුපියල් කෝටි 19කට අධික) මූලික වැටුපක් පවා පිරිනමා ඇති අතර Business Insider ආයතනය විසින් Meta සමාගමේ වීසා අයදුම්පත් 5,800ක් පමණ නිරීක්ෂණය කිරීමේදී මේ පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය වී ඇත.
මෙහිදී උසස් තනතුරු සඳහා පිරිනමන වැටුප් සලකා බැලීමේදී AI අංශයේ උප සභාපති (VP of Engineering, AI) තනතුරක් සඳහා ඩොලර් 650,000ක මූලික වැටුපක් වෙන් කර ඇති අතර, මෘදුකාංග ඉංජිනේරුවෙකු සඳහා ඩොලර් 450,000ක් සහ පර්යේෂණ ඉංජිනේරුවෙකු සඳහා ඩොලර් 400,000ක මූලික වැටුපක් පිරිනමා තිබේ. කෙසේ වෙතත් ආයතනයට අලුතින් බඳවා ගන්නා බොහෝ සේවකයන්ගේ සාමාන්‍ය වැටුප් මට්ටම ඩොලර් 150,000 සහ 250,000 අතර පරාසයක පවතින බව ද එම වාර්තා පෙන්වා දෙයි.
මෙහි විශේෂත්වය වන්නේ මෙම සඳහන් වන්නේ මූලික වැටුප (Base Salary) පමණක් වීම වන අතර, කොටස් හිමිකම් (Stock options) සහ ප්‍රසාද දීමනා (Bonuses) එකතු වූ විට සමස්ත ආදායම මීට වඩා දෙතුන් ගුණයකින් වැඩි විය හැකිය. ඇතැම් ජ්‍යෙෂ්ඨ පර්යේෂකයන් සඳහා වන සම්පූර්ණ දීමනා පැකේජය ඩොලර් මිලියන 100 සීමාව පවා ඉක්මවා යන අවස්ථා ද පවතින බව සඳහන් වේ. කෙසේ වෙතත්, 2025 සැප්තැම්බර් මාසයේදී ට්‍රම්ප් පරිපාලනය විසින් වීසා නීති දැඩි කිරීමත් සමඟ Meta සමාගමේ වීසා අයදුම්පත් ප්‍රමාණය පෙර වසරට වඩා අඩකින් පමණ අඩු වී ඇති අතර එසේ වුවද AI තාක්ෂණික තරඟයේ පෙරමුණ ගැනීමට Meta සමාගම තවදුරටත් ඉහළ වැටුප් ගෙවමින් දක්ෂයන් රඳවා ගැනීමට උත්සාහ කරමින් සිටියි.














