ප්‍රකට රැප් ගායක Kanye West (Ye) එළඹෙන ජූලි මාසයේදී ලන්ඩනයේ පැවැත්වෙන ‘Wireless Festival’ සංගීත උළෙලේ ප්‍රධාන ශිල්පියා ලෙස සහභාගී කරවා ගැනීමට සංවිධායකයන් ගත් තීරණයට එරෙහිව බ්‍රිතාන්‍යය තුළ දැඩි විරෝධයක් මතුව තිබේ. ඔහුගේ අතීත යුදෙව් විරෝධී ප්‍රකාශ (Anti-Semitic remarks) සහ නාසිවාදය වර්ණනා කිරීම මෙයට ප්‍රධාන හේතුව වී ඇති අතර, බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් සහ ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් ද මෙම තීරණය දැඩි ලෙස විවේචනය කර ඇත.
කලින් ඉවත් වූ Pepsi සහ Diageo සමාගම්වලට අමතරව, PayPal සහ Rockstar Energy යන ප්‍රමුඛ ආයතන ද මේ වන විට Wireless Festival සමඟ පවතින සබඳතා අත්හිටුවා තිබේ. විශේෂයෙන්ම PayPal ආයතනය සංගීත උළෙලේ ප්‍රචාරක කටයුතු සඳහා සිය සන්නාමය භාවිත කිරීම ද තහනම් කර ඇත.
කෙසේ වෙතත්, සංගීත උළෙලේ සංවිධායක මෙල්වින් බෙන් (Melvin Benn) මෙම තීරණය සාධාරණීකරණය කරමින් ප්‍රකාශ කර ඇත්තේ, Kanye West ගේ අතීත ප්‍රකාශ පිළිකුල් සහගත වුවද, මිනිසුන්ට සමාව දීම සහ දෙවන අවස්ථාවක් ලබා දීම වැදගත් බවයි. Kanye West ගේ ගීත දැනටමත් ගුවන් විදුලි නාලිකාවල ප්‍රචාරය වන බැවින් ඔහුට ප්‍රසංගයක් පැවැත්වීමට නීතිමය අයිතියක් ඇති බවත්, ඔහු මෙහි පැමිණෙන්නේ අදහස් දැක්වීමට නොව ගායනය සඳහා පමණක් බවත් හෙතෙම අවධාරණය කළේය. එසේ වුවද, Kanye West ට බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට අවසර ලැබේද යන්න පිළිබඳව තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි.














