සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සව සමයත් සමඟ සමාජ මාධ්‍ය ජාලා සහ අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය වංචාවන් ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) පවසයි. සයිබර් අපරාධකරුවන් විසින් රජයේ ආයතන, ප්‍රසිද්ධ වෙළෙඳසැල් සහ විවිධ ව්‍යාපාරික ආයතන ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මහජනතාව නොමඟ යැවීමේ උත්සාහයන් රැසක් මේ වන විටත් නිරීක්ෂණය වී තිබේ. විශේෂයෙන්ම ආකර්ෂණීය තෑගි බෝග, සුවිශේෂී වට්ටම් සහ මුදල් ත්‍යාග ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය හරහා බෙදාහරින පණිවිඩ සහ වංචනික සබැඳි (Links) මඟින් බැංකු ගිණුම්වල ඇති මුදල් සොරාගැනීමට හෝ පෞද්ගලික දත්ත ලබාගැනීමට මෙම කණ්ඩායම් මාන බලමින් සිටින බව එම සංසදය අවධාරණය කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ පවත්වනු ලබන ව්‍යාජ අවුරුදු කුමාරි තරග වැනි දෑ හරහා පුද්ගලික ඡායාරූප ලබාගෙන ඒවා අවභාවිත කිරීමේ සිද්ධීන් ද වාර්තා වෙමින් පවතින බැවින් මහජනතාව මේ පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය. සර්ට් ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසිදු විටෙක සැක සහිත සබැඳි මත ක්ලික් කිරීමෙන් වළකින ලෙසත්, ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් විස්තර හෝ එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP) නාඳුනන කිසිවෙකුට හෝ කිසිදු වෙබ් අඩවියකට ලබා නොදෙන ලෙසත්ය. රජයේ හෝ පිළිගත් පුද්ගලික ආයතනයක් කිසිම අවස්ථාවක කෙටි පණිවිඩ හෝ සමාජ මාධ්‍ය හරහා එවැනි සංවේදී තොරතුරු ඉල්ලා නොසිටින බැවින්, ලැබෙන ඕනෑම පණිවිඩයක සත්‍යතාව නිල මාර්ග ඔස්සේ තහවුරු කරගැනීම අතිශයින්ම වැදගත් වේ.














