ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් කිසිදු පොදු හේතුවක් ඉදිරිපත් නොකර ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක් ධුරවලින් ඉවත් කිරීම හේතුවෙන් මේ වන විට පෙන්ටගනය (Pentagon) තුළ දැඩි කතාබහක් සහ විවේචනයක් මතුව තිබේ. ඔහු ආරක්ෂක ලේකම් ධුරයට පත්වීමෙන් පසුව මේ දක්වා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දොළොස් දෙනෙකුට අධික පිරිසක් ඉවත් කර ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේදී ඔහු විසින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී (Army Chief of Staff) ජෙනරාල් රැන්ඩි ජෝර්ජ්ව ධුරයෙන් ඉවත් කරන ලදී. 2023 සැප්තැම්බර් මාසයේදී හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් වසර හතරක කාලසීමාවක් සඳහා ඔහුව පත් කර තිබුණද, එම කාලය අවසන් වීමට පෙරම මෙලෙස ඉවත් කර ඇත. දැනට එම ධුරයේ වැඩබැලීම සඳහා පත් කර ඇත්තේ හෙග්සෙත්ගේ හිටපු හමුදා සහායකයෙකු වූ ලුතිනන් ජෙනරාල් ක්‍රිස්ටෝපර් ලැනීව් ය. මීට අමතරව යුද හමුදා ප්‍රධාන පූජක (Chief of Chaplains) මේජර් ජෙනරාල් විලියම් ග්‍රීන් සහ පුහුණු ඒකකයේ ප්‍රධානී ඩේවිඩ් හොඩ්නේ ද සිය ධුරවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ඇමෙරිකානු හමුදා ව්‍යුහය ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ප්‍රධාන අංශ හයකින් (යුද, නාවික, ගුවන්, මැරීන්, අභ්‍යවකාශ සහ වෙරළාරක්ෂක) සමන්විත වන අතර, මෙලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉවත් කිරීම හමුදා පද්ධතියේ ස්ථාවරත්වයට බලපානු ඇති බවට විචාරකයෝ අනතුරු අඟවති.














