මැතිවරණ සමයේ පොරොන්දු වූ පරිදි ඉන්ධන ගොඩබාන මිලටම ජනතාවට ලබා නොදෙන්නේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේදී රජයෙන් ප්‍රශ්න කළේය. ස්ථාවර නියෝග 27 (2) යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, වත්මන් ගෝලීය යුදමය වාතාවරණය හමුවේ මෙරට ඉන්ධන සුරක්ෂිතතාව සහ සංචිත පවත්වා ගැනීම පිළිබඳව රජය සතු වැඩපිළිවෙළ රටට හෙළි කළ යුතු බවයි. ඉන්ධන ආනයනය, ගොඩබෑම සහ ප්‍රවාහනය සඳහා වැයවන සැබෑ පිරිවැය මෙන්ම එක් එක් ඉන්ධන වර්ග මත අය කරන බදු ප්‍රමාණයන් ඇතුළත් සවිස්තර වාර්තාවක් සභාගත කරන ලෙස ද ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.
වත්මන් රජය භාවිත කරන ඉන්ධන මිල සූත්‍රය කුමක්ද යන්න සහ එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පැහැදිලි දත්ත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා, 2026 වසරේ මුල් මාස තුන තුළ ආනයනය කළ ඉන්ධන ප්‍රමාණයන් සහ ඒ සඳහා වැය කළ මුදල් පිළිබඳ තොරතුරු ද විමසා සිටියේය. සපුගස්කන්ද පිරිපහදුව පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවීමට හේතු සහ පෘතුගාලය, ඉන්දියාව වැනි රටවල් ඉන්ධන මිල අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක ලංකාවේ ජනතාවට එම සහනය ලබා නොදෙන්නේ මන්දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළේය. රජය සතු අතිරික්ත මුදල් උපයෝගී කරගනිමින් පීඩාවට පත් ජනතාවට වහාම සහන ලබා දිය යුතු බව ද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.











