M1 චිප් එක හඳුන්වා දීමත් සමඟ ඇපල් සිලිකන් මැක් පරිගණක සඳහා අහිමි වී තිබූ බාහිර ග්‍රැෆික් කාඩ් (External GPU) භාවිත කිරීමේ හැකියාව යළිත් හිමිවීමට නියමිත බව වාර්තා වේ. අධි-කාර්යසාධන පරිගණක නිපදවන ‘Tiny Corp’ සමාගම විසින් මේ සඳහා අවශ්‍ය විශේෂ මෘදුකාංගයක් (Driver) නිපදවා ඇති අතර, එය ඇපල් සමාගම විසින් ද අනුමත කර ඇති බව සඳහන් වේ.
USB4 හෝ Thunderbolt පෝට් හරහා සම්බන්ධ කෙරෙන මෙම ඩ්‍රයිවර් එක මඟින් Nvidia හෝ AMD ග්‍රැෆික් කාඩ් හඳුනා ගැනීමට මැක් පරිගණකවලට හැකියාව ලැබෙන අතර Tiny Corp සමාගම පවසන පරිදි, Nvidia Ampere (RTX 30 series හෝ ඊට පසු) සහ AMD RDNA 3 (RX 7000 series හෝ ඊට පසු) කාඩ්පත් මේ සඳහා සහය දක්වයි. මේ සඳහා අවම වශයෙන් macOS Monterey 12.1 හෝ ඊට පසු සංස්කරණයක් අවශ්‍ය වේ.
පර්යේෂණාත්මකව සිදුකළ පරීක්ෂණයකදී, M4 චිප් එක සහිත මැක් මිනි (Mac mini) පරිගණකයක් GeForce RTX 5050 කාඩ්පතක් සමඟ සාර්ථකව ක්‍රියා කර ඇති අතර තවත් අවස්ථාවක Radeon RX 7900 XTX කාඩ්පතක් සම්බන්ධ කර Qwen 3.5 27B වැනි විශාල භාෂා ආකෘති (LLM) තත්පරයට ටෝකන 18.5ක වේගයකින් ක්‍රියා කරවීමට ද සමත්ව ඇත.
මෙමඟින් ඇපල් සිලිකන් පද්ධතිය තුළ මෙතෙක් පැවති සීමාවන් ඉවත් වන අතර, විශේෂයෙන්ම AI ආකෘති නිර්මාණය කරන සහ ඉහළ ග්‍රැෆික් අවශ්‍යතා සහිත වෘත්තිකයන්ට මෙය මහඟු අවස්ථාවක් වනු ඇත. කෙසේ වෙතත්, සාමාන්‍ය පරිශීලකයන් සඳහා මෙහි ස්ථාවරත්වය සහ නිල සහය ලබා දෙන පරාසය පිළිබඳව ඉදිරියේදී තවදුරටත් තහවුරු විය යුතුව තිබේ.














