සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ලබන අඩු ආදායම්ලාභී පවුල් සඳහා අප්‍රේල් මාසයේ දීමනාව විශේෂ ලෙස ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ, දැනට රුපියල් 17,500ක මාසික දීමනාවක් ලබන ප්‍රතිලාභීන් සඳහා එම මුදල රුපියල් 25,000 දක්වා ඉහළ නංවන බවයි. එමෙන්ම රුපියල් 10,000ක දීමනාවක් ලබන ප්‍රතිලාභීන් සඳහා එම මුදල රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට ද පියවර ගෙන ඇත.
මෙම විශේෂ මූල්‍ය සහනය අප්‍රේල් මාසය සඳහා පමණක් වලංගු වන අතර, උත්සව සමයේ ජීවන වියදම හමුවේ පීඩාවට පත්ව සිටින පවුල්වලට සහනයක් සැලසීම මෙහි මූලික අරමුණයි. රජය විසින් අද දින ප්‍රකාශයට පත් කළ ඉන්ධන සහන සහ කෘෂිකාර්මික පොහොර සහනාධාර මාලාවට සමගාමීව මෙම තීරණය ගෙන තිබේ. අඩු ආදායම්ලාභී ජනතාවගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීම සඳහා රජය අඛණ්ඩව කැපවන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














