ඒකක 90ට අඩු ප්‍රමාණයක් භාවිත කරන විදුලි පාරිභෝගිකයින් සඳහා සහන ලබාදීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ඇති වූ බලපෑම් සැලකිල්ලට ගනිමින් රජය හඳුන්වා දුන් විශේෂ සහන පැකේජය පිළිබඳව සභාව දැනුවත් කරමින් ජනාධිපතිවරයා මෙම කරුණු අනාවරණය කළේය. ඒ අනුව ඉදිරි විදුලි ගාස්තු සංශෝධනයේදී මෙම සහනය පාරිභෝගිකයින්ට හිමි වනු ඇත.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිය උත්පාදනය සඳහා තාප බලාගාර වැඩි වශයෙන් භාවිත කිරීමට සිදුවීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව පත්ව ඇති පීඩාව අවම කිරීම මෙම තීරණයේ අරමුණයි. මේ වෙනුවෙන් රජය රුපියල් බිලියන 15ක මුදලක් වෙන් කර ඇති අතර, ඉදිරි මාස තුනක කාලය සඳහා වන අදාළ පිරිවැය රජය විසින් දරනු ලබයි. ජනාධිපතිවරයා අද දින ප්‍රකාශයට පත් කළ පොහොර, ඉන්ධන සහ අස්වැසුම ඇතුළු සහන මාලාවේ තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස මෙම විදුලි ගාස්තු සහනය හැඳින්විය හැකිය.














