ඇමෙරිකානු විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ඉන්දියානු පර්යේෂකයන් සිව්දෙනෙකු විසින් AI (කෘත්‍රිම බුද්ධිය) භාවිතයෙන් ඡායාරූප සංස්කරණය කිරීමේදී සිදුවන දත්ත කාන්දු වීම් වැළැක්වීම සඳහා ‘PrivateEdit’ නමින් සුවිශේෂී තාක්ෂණයක් නිපදවා තිබේ. මෙම පර්යේෂක කණ්ඩායමට පර්ඩියු විශ්වවිද්‍යාලයේ (Purdue University) දීපේෂ් තම්බෝලි, වනීත් අගර්වාල්, විනීත් පුන්‍යමූර්ති සහ මිචිගන් විශ්වවිද්‍යාලයේ අතර්ව් පවාර් ඇතුළත් වේ.
පුද්ගලික ඡායාරූප බාහිර AI මෘදුකාංග වෙත යොමු කිරීමට පෙර ඒවායේ ආරක්ෂාව තහවුරු කරන විශේෂිත ක්‍රියාවලියක් (Pipeline) මොවුන් විසින් නිර්මාණය කර ඇත. 2025 වසරේ මුල් භාගයේදී ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ‘Ghibli-style’ AI ෆිල්ටර් භාවිතයේදී පැනනැගුණු ආරක්ෂක ගැටලු මෙම පර්යේෂණය සඳහා ප්‍රධානතම පෙළඹවීම වී තිබේ. බොහෝ දෙනා මෙවැනි AI ෆිල්ටර්වලට ප්‍රිය කළද, ස්ටුඩියෝ ගිබ්ලි (Studio Ghibli) සම-නිර්මාතෘ හයාඕ මියාසාකි වැනි ප්‍රවීණයන් විසින් මීට පෙර AI තාක්ෂණය “ජීවිතයට කරන අපහාසයක්” ලෙස හඳුන්වමින් විවේචනය කර තිබුණි.
මෙම ‘PrivateEdit’ තාක්ෂණය සඳහා දැනටමත් පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට (Patent-pending) පියවර ගෙන ඇති අතර, අනාගතයේදී AI මඟින් ඡායාරූප වෙනස් කිරීමේදී පරිශීලකයන්ගේ සැබෑ අනන්‍යතාවය අනිසි ලෙස භාවිත වීම වැළැක්වීමට මෙය මහඟු පිටුවහලක් වනු ඇත. මේ පිළිබඳව ඔවුන් ‘Hindustan Times’ පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දක්වා තිබේ.














