අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරමින් සිටි සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත, ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වූ මහා පරිමාණ ත්‍රීරෝද රථ සොරකම් ජාලයක සුලමුල අනාවරණය කර ගැනීමට කිරිබත්ගොඩ පොලිසිය සමත්ව තිබේ. මෙම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සොරා ගන්නා ලද ත්‍රීරෝද රථ 04ක් සොයා ගැනීමටත්, ඒවා මිලදී ගත් සහ ව්‍යාජ ලේඛන සකස් කළ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් පොලිසියට හැකි විය.
පසුගිය මාර්තු 31 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී, ඔහු පෑලියගොඩ, වත්තල සහ කැලණිය යන ප්‍රදේශවල සිදුවූ ත්‍රීරෝද රථ සොරකම් හතරකට සෘජුවම සම්බන්ධ බව පිළිගෙන ඇත. ඔහු දුන් තොරතුරු මත ඊයේ (06) හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී, සොරාගත් රථ මිලදී ගත් සහ ඒවායේ කූට ලේඛන සකස් කළ වයස අවුරුදු 61 සහ 75 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් භාරයට ගත් ත්‍රීරෝද රථ සහ සැකකරුවන් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














