කොමර්ෂල් බැංකුව සිය ‘කොම්බෑන්ක් ශක්ති’ (ComBank Shakthi) ඒජන්සි බැංකු ජාලය තවදුරටත් ශක්තිමත් කරමින් දිවයින පුරා අලුතින් ශාඛා 22ක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. සාම්ප්‍රදායික බැංකු ශාඛා වෙත ළඟා වීමට අපහසු ප්‍රදේශවල ජනතාවට බැංකු සේවා වඩාත් සමීප කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ දැන් දිවයින පුරා ස්ථාන 26ක මෙම සේවාව ලබාගත හැකිය.
විශ්වාසනීය දේශීය ව්‍යාපාරිකයන් හෝ පුද්ගලයන් තෙවන පාර්ශවීය නියෝජිතයන් ලෙස සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ආකෘතිය හරහා පාරිභෝගිකයින්ට මුදල් තැන්පත් කිරීම්, මුදල් ලබා ගැනීම්, අරමුදල් හුවමාරු කිරීම්, ශේෂයන් විමසීම් සහ බිල්පත් ගෙවීම් වැනි අත්‍යවශ්‍ය බැංකු සේවා තම නිවසට ආසන්න ස්ථානයකදීම ඉටු කරගත හැකිය. බැංකුවේ මධ්‍යම පද්ධතිය සමඟ ආරක්ෂිතව සම්බන්ධ කර ඇති විශේෂිත POS යන්ත්‍ර මඟින් මෙම ගනුදෙනු සිදු කෙරෙන අතර, සෑම ගනුදෙනුවකටම මුද්‍රිත රිසිට්පතක් සහ SMS තහවුරු කිරීමක් පාරිභෝගිකයාට හිමි වේ. විධිමත් බැංකු සේවා මෙතෙක් නොලැබුණු ජනතාව මූල්‍ය පද්ධතියට එක්කර ගැනීම සහ පාරිභෝගික පහසුව ඉහළ නැංවීම මෙම ව්‍යාප්තියේ මූලික අරමුණ බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.















