ඛනිජ තෙල් සංස්ථාවේ කොන්ත්‍රාත් පදනම මත ධාවනය වන බවුසරයකින් රුපියල් 50,000කට ආසන්න වටිනාකමින් යුත් ඉන්ධන සොරකම් කළ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට නවගමුව පොලිසිය සමත්ව තිබේ. සැකකරු සමඟ ඩීසල් ලීටර් 60ක්, පෙට්‍රල් ලීටර් 42ක්, භූමිතෙල් ලීටර් 40ක් සහ ඉන්ධන බැහැර කිරීමට යොදාගත් උපකරණ මෙන්ම අදාළ තෙල් බවුසරය ද පොලිස් භාරයට ගෙන ඇත.
ඛනිජ තෙල් සංස්ථාවේ සිට කලවාන ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල වෙත රැගෙන යාමට නියමිතව තිබූ මෙම බවුසරය, නියමිත මාර්ගයෙන් බැහැරව කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් එහිදී රියදුරු විසින් රහසිගතව ඉන්ධන බැහැර කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ. ඛනිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියෙකු විසින් ඊයේ (06) කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය, සැකකරු සොරකම් කරන ලද ඉන්ධන තොගය ද සමඟ කොටු කර ගැනීමට සමත් විය. සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.















