Yahoo Japan සහ Line යන සන්නාම ද්විත්වය ඒකාබද්ධ වීමෙන් පසුව නිර්මාණය වූ LY Corporation, සිය යටිතල පහසුකම් ඒකාබද්ධ කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ අනුව, මීට පෙර භාවිත කළ සංකීර්ණ සහ වෙනස්කම් රැසක් සහිත පද්ධති වෙනුවට ‘Flava’ නමින් හැඳින්වෙන නව ඒකාබද්ධ ක්ලවුඩ් පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව ‘The Register’ පුවත් සේවය වාර්තා කරයි. මසකට මිලියන 300 කට අධික පරිශීලක පිරිසක් භාවිතා කරන Line මැසෙන්ජර් සහ Yahoo Japan පෝටලය වැනි සේවාවන්හි විශ්වසනීයත්වය තහවුරු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
LY Corporation සතු පැරණි ක්ලවුඩ් පද්ධති වන ‘Verda’ සහ ‘YNW’ තුළ සේවාදායක (Servers) දහස් ගණනක් සහ අතථ්‍ය යන්ත්‍ර (VMs) ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක විය. නව Flava පද්ධතිය මඟින් මෙම අතිවිශාල පද්ධතිය වඩාත් සරල සහ කාර්යක්ෂම ‘OpenStack’ පොකුරක් (Cluster) වෙත ගෙන එන අතර, එමඟින් මෘදුකාංග යාවත්කාලීන කිරීමේදී මීට පෙර පැවති තාක්ෂණික බාධාවන් මඟහරවා ගැනීමට හැකි වේ.
පද්ධතිවල සිදුවන දෝෂ හඳුනාගැනීමේ සිට දත්ත මධ්‍යස්ථාන වෙත අවශ්‍යතා යොමු කිරීම දක්වා බොහෝ පියවර මේ වන විටත් ස්වයංක්‍රීය කර තිබේ. ඉදිරියේදී සිදුවිය හැකි වඩාත් සංකීර්ණ දෝෂ විශ්ලේෂණය කර තීරණ ගැනීම සඳහා මහා පරිමාණ භාෂා ආකෘති (LLM) හෙවත් AI තාක්ෂණය යොදා ගැනීමට ද සමාගම සැලසුම් කර ඇත. LY Corporation හි ක්ලවුඩ් යටිතල පහසුකම් අංශයේ ප්‍රධානී රියුතාරෝ ඉනෝයි (Ryuutarou Inoue) පවසන්නේ මෙම නවීකරණය හරහා ලෝක මට්ටමේ සේවාවක් වඩාත් ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වන බවයි.














