තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි ඉශ්‍රායල කොන්සල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල අසල අද (අප්‍රේල් 07) සිදුවූ දරුණු වෙඩි හුවමාරුවකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉහළ ආරක්ෂාවක් සහිත කලාපයක සිදුවූ මෙම ප්‍රහාරය සඳහා ප්‍රහාරකයන් දිගු බැරල් සහිත අවි (Long-barreled weapons) භාවිතා කර ඇති බව තුර්කි මාධ්‍ය සඳහන් කර තිබේ.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ආවරණ ලබාගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන රොයිටර් පුවත් සේවය විසින් ප්‍රසිද්ධ කර ඇත. මියගිය තිදෙනා අතර ප්‍රහාරයට සම්බන්ධ වූවන් සිටින බවට සැක කෙරෙන අතර, එක් පුද්ගලයෙකු ලේ විලක් මැද වැටී සිටින අයුරු ද එම දර්ශනවල දැක්වේ. තුර්කි අධිකරණ අමාත්‍ය අකින් ගුර්ලෙක් (Akin Gurlek) පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.
කෙසේ වෙතත්, ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී කිසිදු ඉශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රිකයෙකු තුර්කිය තුළ රැඳී සිට නොමැති බව තහවුරු වී තිබේ. ඉරානය සහ ඇමෙරිකා-ඉශ්‍රායල හමුදා අතර පවතින දරුණු යුදමය වාතාවරණය සහ ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරානයට ලබා දී ඇති අවසන් නිවේදනය හමුවේ ලෝකයම නොසන්සුන් වී පවතින මොහොතක මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි. මෙම ප්‍රහාරයේ අරමුණ හෝ ප්‍රහාරකයන් කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නොමැත.














