කෘත්‍රිම බුද්ධිය (AI) මානව බුද්ධිය අභිබවා යන අනාගතයකදී ලෝක ආර්ථිකයේ පදනම නැවත සකස් විය යුතු ආකාරය පිළිබඳව OpenAI සමාගම සිය නවතම ප්‍රතිපත්ති වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කර තිබේ. AI තාක්ෂණය හේතුවෙන් රැකියා වෙළඳපොළ සහ ආදායම් මාර්ගවලට සිදුවන බලපෑම අවම කිරීම සඳහා රජයන් විසින් ගත යුතු මූලික පියවර කිහිපයක් එහි ඇතුළත් වේ. මෙමඟින් ජනතාවගේ ජීවන රටාව සහ බදු ගෙවීමේ ක්‍රමවේදයන් ද දැඩි වෙනසකට ලක්වනු ඇතැයි එම සමාගම විශ්වාස කරයි.
මෙම යෝජනාවලියේ අන්තර්ගත ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය. AI තාක්ෂණය මඟින් උපයන ආර්ථික ලාභයේ කොටසක් සෑම පුරවැසියෙකුටම හිමිවන පරිදි “පොදු ධන අරමුදලක්” (Public Wealth Fund) පිහිටුවීමට OpenAI යෝජනා කරයි. මෙම අරමුදල මඟින් AI ක්ෂේත්‍රයේ සහ එම තාක්ෂණය භාවිතා කරන අනෙකුත් සමාගම්වල ආයෝජනය කර, එමඟින් ලැබෙන ලාභය සෘජුවම පුරවැසියන් අතර බෙදා දීමට සැලසුම් කර ඇත.
එසේම, AI තාක්ෂණය නිසා ආයතනවල ඵලදායිතාව ඉහළ යන බැවින්, සේවකයන්ට වැටුප් කප්පාදුවකින් තොරව සතියකට දින හතරක් පමණක් වැඩ කිරීමේ (Four-day workweek) නියමු ව්‍යාපෘති ආරම්භ කිරීමට රජයන් විසින් සමාගම් දිරිමත් කළ යුතු බව ද එහි සඳහන් වේ. මෙමඟින් තාක්ෂණික දියුණුවත් සමඟ මිනිසාගේ වැඩ බර අඩු කර වඩාත් සමබර ජීවන රටාවක් නිර්මාණය කිරීම OpenAI හි මූලික අරමුණයි. මීට අමතරව අනාගතයේදී රොබෝ තාක්ෂණය සහ AI භාවිතය මත පදනම් වූ නව බදු ක්‍රමවේදයන් (Robot Taxes) පිළිබඳව ද ලෝකයේ අවධානය යොමු විය යුතු බව මෙම වාර්තාව මඟින් පෙන්වා දෙයි.














