රට පුරා පැවැත්වෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සඳහා අවශ්‍ය කෙරෙන විදුලිය බාධාවකින් තොරව ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය සූදානම් බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (අප්‍රේල් 07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය. ඒ අනුව, අප්‍රේල් 15 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළ සංවිධානය කරනු ලබන උත්සව සඳහා විදුලිබල මණ්ඩලයට නියමිත ගෙවීම් සිදුකර අවශ්‍ය විදුලි පහසුකම් ලබාගැනීමේ හැකියාව මේ වන විටත් සලසා දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම තීරණයත් සමඟ උත්සව සංවිධායකයින්ට සහ ජනතාවට බාධාවකින් තොරව අවුරුදු සිරිත් විරිත් සහ සැමරුම් කටයුතු සිදුකිරීමට අවස්ථාව හිමිවනු ඇත. පවතින විදුලි අර්බුදය හමුවේ වුවද උත්සව සමය වෙනුවෙන් මෙලෙස විදුලිය සැපයීමට රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ.













