ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය කොළඹ කැම්බල් පිටිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබේ. මරදානේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී අද (අප්‍රේල් 07) රැස්වූ විශේෂ විධායක සභාවේදී මෙම තීරණය ගෙන ඇති අතර, පක්ෂ සභාපති නිමල් සිරිපාල් ද සිල්වා සහ ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. වර්තමාන දේශපාලන තත්ත්වය, දූෂණ වංචා සහ ගල් අඟුරු ගනුදෙනු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී ඇති අතර, ඉදිරියේදී ඇති විය හැකි විදුලි කප්පාදුවක් පිළිබඳව ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන විජේදාස රාජපක්ෂ සහ මහින්ද අමරවීර යන මහත්වරුන් කරුණු පෙන්වා දී ඇත.
මෙම රැස්වීමේදී පක්ෂයේ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ නිවසක් සම්බන්ධයෙන් විවේචනයක් එල්ල කර තිබේ. වැව් තාවුළුවල ඉදිකිරීම් ඉවත් කිරීමට කතා කරන පිරිස් අනුරාධපුරය වැනි ප්‍රදේශවල රුපියල් ලක්ෂ ගණනින් නිවාස මිලදී ගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර ඇත. තමන් සමඟ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටි ලාල්කාන්ත මහතා වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ තට්ටු තුනක නිවසක් ඉදිකිරීම ගැටලු සහගත බව ද දසනායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.














