ජපාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය විසින් ජපාන ඉතිහාසයේ විශාලතම රාජ්‍ය අයවැය අද (අප්‍රේල් 07) සම්මත කරන ලදී. ජපන් යෙන් ට්‍රිලියන 122.3ක (යුරෝ බිලියන 664ක පමණ) වටිනාකමකින් යුත් මෙම අයවැය, එරට අග්‍රාමාත්‍ය සානා තකායිචි (Sanae Takaichi) මහත්මියගේ ව්‍යාප්තිවාදී මූල්‍ය ප්‍රතිපත්තිය නිරූපණය කරන්නකි.
මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂයට පෙර මෙම සම්පූර්ණ අයවැය සඳහා ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට නොහැකි වූ බැවින්, රජයට මාර්තු 30 වැනිදා හදිසි අතුරු අයවැයක් (Stopgap Budget) ක්‍රියාත්මක කිරීමට සිදු විය. කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරියගේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) සතු තුනෙන් දෙකක බහුතර බලය සහිත පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් මීට පෙර මාර්තු 13 වැනිදා මෙම අයවැය සම්මත කර තිබුණි.
ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් 247 දෙනා අතරින් පාලක පක්ෂයට සහ එහි හවුල්කාර ‘ජපාන නවෝත්පාදන පක්ෂයට’ (Japan Innovation Party) බහුතරය සඳහා ආසන හතරක් මදි වුවද, අවසානයේ අද දිනයේදී මෙම ඓතිහාසික අයවැය ලේඛනය සම්මත කර ගැනීමට රජය සමත් විය. මෙමඟින් එරට ආර්ථික සංවර්ධනය සහ සමාජ සුභසාධන කටයුතු වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට ජපාන රජය අපේක්ෂා කරයි.














