මධ්‍ය පෙරදිග කලාපය තුළ පවතින අර්බුදකාරී තත්ත්වය දරුණු අගාධයකට (Spiral out of control) ඇද වැටීමේ අවදානමක් පවතින බව කටාර් රාජ්‍යය අද (අප්‍රේල් 07) අනතුරු ඇඟවීය. කටාර් විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක මාජෙඩ් අල්-අන්සාරි ප්‍රකාශ කර ඇත්තේ, පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ රාජ්‍යතාන්ත්‍රික විසඳුම් සඳහා පවතින අවස්ථා ශීඝ්‍රයෙන් අහිමි වෙමින් පවතින බවයි.
මෙම යුදමය තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් අවසානයේ ජයග්‍රාහකයින් කිසිවකු ඉතිරි නොවන බවත්, දීර්ඝකාලීන සතුරුකම් පවත්වාගෙන යාම කිසිදු රටක අවශ්‍යතාවලට නොගැලපෙන බවත් ඔහු අවධාරණය කළේය. විශේෂයෙන්ම සිවිල් ජනතාව ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර මෙන්ම බලශක්ති යටිතල පහසුකම් විනාශ කිරීම ජාත්‍යන්තර මට්ටමින් ප්‍රතික්ෂේප විය යුතු බව ද අල්-අන්සාරි පෙන්වා දුන්නේය.
කලාපීය සමුද්‍රීය මාර්ග සම්බන්ධයෙන් පවතින දැඩි නොසන්සුන්තාව පිළිබඳව ද අදහස් දක්වමින් ඔහු කියා සිටියේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ස්වභාවික සමුද්‍ර සන්ධියක් වන බැවින්, එම කලාපයේ පිහිටි සියලුම රටවලට එය නිදහසේ භාවිතා කිරීමට පූර්ණ අයිතිය පවතින බවයි. කලාපීය බලවතුන් සහ ජාත්‍යන්තර ප්‍රජාව වහා මැදිහත් වී තත්ත්වය සමනය කිරීමට කටයුතු නොකළහොත් සමස්ත ලෝක ආර්ථිකයටම මෙහි බලපෑම එල්ල වනු ඇතැයි කටාර් රාජ්‍යය වැඩිදුරටත් සඳහන් කරයි.













