කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ රෝගී ප්‍රවාහන කටයුතු සඳහා විශේෂයෙන් සකස් කරන ලද, රුපියල් ලක්ෂ 30ක් වටිනා ETX වර්ගයේ නවීනතම විද්‍යුත් ත්‍රීරෝද රථයක් ඊයේ (අප්‍රේල් 06) පරිත්‍යාග කර තිබේ. CodeGen ආයතනයට වසර 25ක් පිරීම නිමිත්තෙන් එම ආයතනයේ සභාපති ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා විසින් මෙම පරිත්‍යාගය සිදු කරන ලද අතර, එය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් නිල වශයෙන් භාරගනු ලැබීය.
Vega Innovations සමාගමට අනුබද්ධ Elektrateq ආයතනය විසින් දේශීයව සැලසුම් කර නිෂ්පාදනය කර ඇති මෙම ETX විද්‍යුත් ත්‍රීරෝද රථය සුවිශේෂී තාක්ෂණික දත්ත රැසකින් සමන්විතය. එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 150ක දුරක් ධාවනය කළ හැකි මෙම රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 70කි. සාමාන්‍ය විදුලි පේනුවකින් ආරෝපණය කළ හැකි අතර, වේගවත් ආරෝපණ තාක්ෂණය මඟින් පැයකට අඩු කාලයකදී 80%ක් දක්වා ආරෝපණය කළ හැකිය. කිලෝමීටරයක් ධාවනය සඳහා වැය වන්නේ රුපියල් 5ත් 7ත් අතර ඉතා අඩු මුදලක් වන අතර, මෙහි ආරක්ෂිත LiFePO₄ බැටරි පද්ධතියක්, වායුසමීකරණ පද්ධතියක් සහ ආරක්ෂිත දොරවල් 4ක් අන්තර්ගත වේ.
හදිසි අනතුරු රෝගීන් ප්‍රවාහනය සඳහාම විශේෂයෙන් සකස් කර ඇති මෙම රථය රෝහල් පරිශ්‍රය තුළ කාර්යක්ෂම සේවාවක් සැලසීමට මහඟු පිටුවහලක් වනු ඇත. මෙම අවස්ථාවට හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා ඇතුළු වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.













