යාල ජාතික වනෝද්‍යානයේ සංචාරකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වූ “ලූකස්” (Lucas) නමින් හැඳින්වෙන කොටියා සෆාරි ජීප් රථයක ගැටී අනතුරට ලක්ව ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන මාරසිංහ මහතා සඳහන් කරන්නේ අදාළ සිදුවීම පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බවත්, ඒ පිළිබඳව කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත්ය.
මෙම අනතුර සිදු වූ අවස්ථාවේ කොටියා අසලින් ධාවනය වූ බවට සැක කෙරෙන සෆාරි ජීප් රථය, විමර්ශන කටයුතු අවසන් වනතුරු උද්‍යාන පාලකවරයා විසින් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. අදාළ ජීප් රථයේ රියදුරු මෙම අනතුර සම්බන්ධයෙන් වැරදිකරු වුවහොත්, වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ ප්‍රතිපාදන යටතේ ඔහුට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව විමර්ශන නිලධාරීහු අවධාරණය කරති.
මෙම සිදුවීමත් සමඟ වනෝද්‍යාන තුළ සෆාරි රථ ධාවනය කිරීමේදී වනසතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පනවා ඇති නීති රීති තවදුරටත් දැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පරිසරවේදීන්ගේ අවධානය යොමුව තිබේ. “ලූකස්” කොටියාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පශු වෛද්‍ය නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලබන අතර, උද්‍යානය තුළ සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පනවා ඇති වේග සීමා උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩිව ක්‍රියා කරන බව බලධාරීහු පවසති.













