පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අඩාල වූ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කොමසාරිස් ජනරාල් එම්.එස්.පී. සූරියප්පෙරුම මහතා සඳහන් කරන්නේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය සේවාලාභීන්ට පමණක් හෙට (අප්‍රේල් 08) දින සිට එක්දින සේවය යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
මෙම විශේෂ විධිවිධානය බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට සහ පළාත් කාර්යාලවලට පමණක් අදාළ වන අතර, සාමාන්‍ය සේවා කටයුතු සහ පෙරටු කාර්යාල සේවාවන් නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොවේ. පද්ධතිය සම්පූර්ණයෙන් යථාවත් වන තෙක් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සඳහා ලබා දෙන තොරතුරු සත්‍යාපනය කිරීමේ සේවාවන් සහ ඉංග්‍රීසි භාෂා පරිවර්තන සේවාවන් ද තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඒ අනුව, අදාළ සේවාවන් බලාපොරොත්තු වන ආයතන ඒ සඳහා විකල්ප ක්‍රමවේද අනුගමනය කරන ලෙසත්, පද්ධතිය යථා තත්ත්වයට පත් වූ වහාම සියලුම සේවාවන් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බවත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි. මහජනතාවට සිදුවන අපහසුතාව මඟහරවා ගැනීම සඳහා මෙම කඩිනම් පියවර ගෙන ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.












