ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව, ආරක්ෂක අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (අප්‍රේල් 07) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය. මෙහිදී උතුරු සහ නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීම, වසා දමා ඇති මාර්ග විවෘත කිරීම සහ ආගමික සිද්ධස්ථානවලට අදාළ ඉඩම් ගැටලු පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු විය. විශේෂයෙන්ම 2025 වසරේදී පමණක් උතුරේ පෞද්ගලික ඉඩම් අක්කර 1000කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට රජය පියවර ගෙන ඇති බවත්, ඉතිරි ඉඩම් ද ක්‍රමානුකූලව නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මීට අමතරව ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග සහ වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රගතිය මෙන්ම පීඩාවට පත් වූ ගොවි ජනතාවට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩම් නිදහස් කරන අතරම, කර්මාන්ත සහ ආර්ථික කටයුතු සඳහා පවතින ඉඩම් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධනය සහ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආරක්ෂක අංශවලට අදාළ නියෝග කිහිපයක් සඳහා ද මෙහිදී කාරක සභාවේ අනුමැතිය හිමි විය.
මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. ජාතික ආරක්ෂාව තහවුරු කරන අතරම සිවිල් ජනතාවගේ දෛනික ගැටලු සඳහා කඩිනම් සහ සාධනීය විසඳුම් ලබා දීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.













