ඉන්දීය ඩී.ඒ.එෆ්.සී. (DAFC) ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ක්‍රිකට් කණ්ඩායම සමත් විය. අප්‍රේල් මස 04 සහ 05 යන දිනවල කටුනේරිය ශාන්ත සෙබස්තියන් ක්‍රීඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්වුණු අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය පුරා කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කළහ. පළමු තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 74කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල කිසිදු කඩුල්ලක් නොදැවී එම ජයග්‍රාහී ඉලක්කය සපුරා ගන්නා ලදී.
දෙවන තරගයේදී ද සිය ආධිපත්‍යය පැතිරවූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය පිලට ලකුණු 203ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් ලබා දුන් අතර, ඉන්දීය ක්‍රීඩකයන්ට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 54ක් පමණි. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුලාන් ප්‍රියශාන්ත කඩුලු ත්‍රිත්වයක් (Hat-trick) දවා ගනිමින් සුවිශේෂී දක්ෂතාවක් දැක්වූ අතර, තරගාවලියේ වීරයා ලෙස පසිඳු නවෝද් සම්මාන දිනා ගත්තේය. එම්. අයි. එම්. අක්‍රම් තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ශාරීරික අභියෝගතා සහිත ක්‍රීඩකයන් ජාත්‍යන්තර මට්ටමින් ලබාගත් ඉතා වැදගත් ජයග්‍රහණයක් ලෙස සැලකේ.













