අමෙරිකානු අපනයන පාලන නීති උල්ලංඝනය කරමින් චීනයට රහසිගතව තාක්ෂණික මෙවලම් යැවීමේ චෝදනාව මත සිය සම නිර්මාතෘවරයා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නඩු පැවරීමත් සමඟ, සුපර් මයික්‍රෝ (Super Micro) සමාගම ඒ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. සැන් හෝසේ (San Jose) පදනම් කරගත් මෙම දැවැන්ත තාක්ෂණික සමාගම සිය ගෝලීය වෙළඳ අනුකූලතා වැඩසටහන පිළිබඳව ද අභ්‍යන්තර සමාලෝචනයක් ආරම්භ කර ඇති බව අද (08) නිවේදනය කළේය.
අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාසයේදී සමාගමේ සම නිර්මාතෘ යි-ෂියාන් ලියාව් (Yih-Shyan Liaw) ඇතුළු තිදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කරන ලදී. ඔවුන් විසින් අමෙරිකාවේ නිෂ්පාදිත AI සර්වර් (Servers) තාක්ෂණය තායිවානය සහ අග්නිදිග ආසියාව හරහා රහසිගතව චීනයට යැවීමේ ජාවාරමක් මෙහෙයවා ඇති බවට සැක කෙරේ. මෙලෙස යවන ලද තාක්ෂණික මෙවලම්වල වටිනාකම ඩොලර් බිලියන 2.5 ක් පමණ වන අතර, චීන මහජන විමුක්ති හමුදාවට සම්බන්ධ විශ්වවිද්‍යාල දෙකක් ඇතුළු ආයතන හතරක් මෙම සර්වර් පද්ධති මිලදී ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය අනාවරණය කරයි.
මෙම පරීක්ෂණය මෙහෙයවීම සඳහා සමාගමේ ස්වාධීන අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පත් කර ඇති අතර, විදේශීය නීති ආයතනයක් සහ මූල්‍ය විමර්ශන ආයතනයක සහාය ද ලබා ගැනීමට තීරණය කර ඇත.ලෝකයේ ප්‍රමුඛතම AI තාක්ෂණික සමාගමක සිදුවූ මෙම මූල්‍ය සහ නීතිමය අර්බුදය කොටස් වෙළඳපොළ කෙරෙහි ද දැඩි බලපෑමක් ඇති කරනු ඇත.














