ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් (David Warner) බීමත්ව රිය පැදවීමේ චෝදනාව මත සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. පසුගිය ඉරිදා සිඩ්නි නුවර මරූබ්රා (Maroubra) ප්‍රදේශයේදී සිදුකළ හදිසි හුස්ම පරීක්ෂාවකදී ඔහු මත්පැන් පානය කර සිටි බව අනාවරණය වී ඇත.
නිව් සවුත් වේල්ස් පොලිසිය පවසන පරිදි, වෝනර් විසින් පදවන ලද වෑන් රථය පරීක්ෂා කිරීමේදී ඔහුගේ රුධිරයේ මත්පැන් සාන්ද්‍රණය නීත්‍යානුකූල සීමාව මෙන් දෙගුණයකටත් වඩා (0.104 මට්ටමක) පවතින බව තහවුරු වී තිබේ. ඔහුට එරෙහිව දැනටමත් “මධ්‍යම මට්ටමේ මත්පැන් සාන්ද්‍රණයක් සහිතව රිය පැදවීමේ” චෝදනාව යටතේ නඩු පවරා ඇති අතර, මැයි මස 07 වනදා ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
2024 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් 39 හැවිරිදි වෝනර්, දැනට පාකිස්ථාන සුපර් ලීග් (PSL) තරඟාවලියේ කරච්චි කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. ලෝක පූජිත ක්‍රීඩකයෙකු මෙලෙස නීතිය හමුවේ වරදකරුවෙකු වීම ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි කතාබහට ලක්ව තිබේ. ඔහුගේ කණ්ඩායමේ මීළඟ තරඟය හෙට (09) පැවැත්වීමට නියමිත අතර මෙම සිදුවීම ඔහුගේ ක්‍රීඩා දිවියට ද තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇත.














