පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අත්හිටුවා තිබූ සේවාවන් අද (08) සිට සීමිත මට්ටමකින් නැවත ආරම්භ කර තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය අවශ්‍යතා පවතින සේවාලාභීන් සඳහා පමණක් එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ප්‍රධාන කාර්යාලයේදී සහ පළාත් කාර්යාලවලදී සිදු කරන බව වැඩබලන කොමසාරිස් ජනරාල් එම්.එස්.පී. සූරියප්පෙරුම මහතා දැනුම් දෙයි.
දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් පවතින නමුත්, සාමාන්‍ය සේවාවන් සහ පෙරටු කාර්යාල සේවාවන් (Front Office services) නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇත. පද්ධතිය සම්පූර්ණයෙන් යථාවත් වූ පසු සියලුම සේවාවන් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙරට ජනතාවට අත්‍යවශ්‍ය වන ජාතික හැඳුනුම්පත් සේවාව මෙලෙස යම් මට්ටමකින් හෝ ආරම්භ වීම විශේෂ සහනයකි. උත්සව සමය ආසන්න වෙද්දී පවතින මෙම තත්ත්වය පිළිබඳව පාරිභෝගිකයින් මෙන්ම සේවාලාභීන් ද දැඩි අවධානයෙන් පසුවෙති.














