ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ නවීකරණය කරන ලද කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළෙහි මෙහෙයුම් කටයුතු අද (අප්‍රේල් 08) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදුකළ මෙම නවීකරණ ව්‍යාපෘතිය යටතේ පවතින ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම, නව තොරතුරු මධ්‍යස්ථානයක් සහ සනීපාරක්ෂක සංකීර්ණයක් ස්ථාපිත කිරීම මෙන්ම බස් රථ පේළිගත කිරීමේ ප්‍රදේශ විධිමත් කිරීම ද සිදුකර ඇත.
මෙහි බිම් මහල බස් නැවතුම් අංගනය ලෙසත්, දෙවන මහල රියදුරු හා කොන්දොස්තර විවේකාගාර ලෙසත්, තෙවන මහල පරිපාලන කටයුතු සඳහාත් වෙන් කර ඇති අතර මගී ජනතාවට වඩාත් පහසු සහ විධිමත් සේවාවක් සැපයීම මෙහි මූලික අරමුණයි. විශේෂයෙන්ම එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් හෙට (අප්‍රේල් 09) සිට ක්‍රියාත්මක කෙරෙන විශේෂ ප්‍රවාහන සේවාවන් සඳහා මෙම මධ්‍යස්ථානය සූදානම් කර තිබීම විශේෂත්වයකි.
ඒ අනුව අවුරුදු නිවාඩුවට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අතිරේක බස් රථ 1500 ක් පමණ යොදවා ඇති අතර, හැටන්, බදුල්ල, මහනුවර, අනුරාධපුර, යාපනය ඇතුළු දිවයිනේ ප්‍රධාන ගමනාන්ත රැසක් ඉලක්ක කරගනිමින් මධ්‍යම බස් නැවතුම්පොළෙන් මෙම විශේෂ සේවා ක්‍රියාත්මක වනු ඇත.














