ඇෆ්ගනිස්ථානයේදී සිදු කළ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඕස්ට්‍රේලියාවේ ඉහළම යුද ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ බෙන් රොබට්ස්-ස්මිත් (Ben Roberts-Smith) දිගටම රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීමට එරට අධිකරණය නියෝග කර තිබේ. චෝදනා එල්ල වූ අවස්ථාවේදී ඔහුගේ නීතිඥයන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් 47 හැවිරිදි හිටපු සෙබළා මෙලෙස බන්ධනාගාරගත කෙරුණි.
පසුගිය අඟහරුවාදා සිඩ්නි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් ඔහුට එරෙහිව මිනීමැරුම් සම්බන්ධ යුද අපරාධ චෝදනා පහක් එල්ල වී ඇති අතර ඔහු මේ වන විට පොලිස් සිර මැදිරියක රඳවා සිටී. තමා කිසිදු වරදක් කර නැති බව පවසන රොබට්ස්-ස්මිත්, මෙම චෝදනා අසාධාරණ සහ වෛරී සහගත ප්‍රකාශ බව පවසමින් ඒවා ප්‍රතික්ෂේප කරයි.
වික්ටෝරියා ක්‍රොස් (Victoria Cross) සම්මානයෙන් පවා පිදුම් ලැබූ මෙම හිටපු කෝප්‍රල්වරයා, 2009 සහ 2012 අතර කාලය තුළ ඇෆ්ගනිස්ථානයේදී නිරායුධ පුද්ගලයන් කිහිප දෙනෙකු ඝාතනය කළ බවට 2023 වසරේදී පැවති අපහාස නඩුවකදී ද කරුණු අනාවරණය විය. ඕස්ට්‍රේලියානු හමුදාවන් විසින් සිදු කළ බව කියන යුද අපරාධ පිළිබඳව අධිකරණයක් මගින් මෙලෙස විමර්ශනය කරනු ලබන්නේ එරට ඉතිහාසයේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයකි.














