ශ්‍රී ලංකා වටලකල ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ තිරසාරභාවය සහ පාරිසරික, සමාජීය හා යහපාලන (ESG) ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නව පීඨයක් (Faculty of Sustainability Reporting & ESG Leadership) ආරම්භ කර තිබේ. ගෝලීය ව්‍යාපාරික ප්‍රවණතාවලට අනුකූලව වගකීම් සහගත සහ විනිවිදභාවයකින් යුත් ව්‍යාපාරික සංස්කෘතියක් මෙරට තුළ ස්ථාපිත කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම පීඨය ආරම්භ කිරීමට සමගාමීව CA Sri Lanka ආයතනය විසින් ‘Certified Sustainability Reporting and Strategy Advisor (CSRSA)’ නමැති නව වෘත්තීය සුදුසුකම ද හඳුන්වා දී ඇත. මට්ටම් තුනකින් (Foundation, Application, Expert) සමන්විත මෙම පාඨමාලාව හරහා වෘත්තිකයන්ට තිරසාර වාර්තාකරණය, සහතික කිරීම සහ ව්‍යාපාරික උපායමාර්ග සමඟ තිරසාර මූලධර්ම ඒකාබද්ධ කිරීම පිළිබඳ ගැඹුරු තාක්ෂණික දැනුමක් ලබා දීමට සැලසුම් කර තිබේ.
මෙම සමාරම්භක අවස්ථාවට CA Sri Lanka සභාපති තිෂාන් සුබාසිංහ, උප සභාපති අනුජි ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ අනාගත ව්‍යාපාරික ලෝකයේ සාර්ථකත්වය තීරණය වන්නේ මූල්‍ය දක්ෂතාව මත පමණක් නොව, ආයතනයක් කෙතරම් දුරට තිරසාර ලෙස සහ වගකීම් සහගත ලෙස කටයුතු කරන්නේද යන්න මත බවයි. මෙම නව වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලාංකේය වෘත්තිකයන් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට අපේක්ෂා කෙරේ.














