ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතිය හෙට (09) පෙරවරු 9.00 ට ආරම්භ වීමට නියමිතය. මෙම විශේෂ අවස්ථාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව වාර්තා වේ.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය හා තාක්ෂණික සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ කොටුව දුම්රිය ස්ථානය සියලු නවීන පහසුකම්වලින් සමන්විත ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ සුවපහසු සේවාවක් සැපයීම මෙහි මූලික අරමුණ වන අතර, දුම්රිය ස්ථානයේ පැරණි ගෘහ නිර්මාණ ලක්ෂණ ආරක්ෂා කරමින් නවීන තාක්ෂණික අංග එක් කිරීමට ද මෙහිදී අවධානය යොමු කර තිබේ.














