සංචාරක නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගය අද (08) හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායක සහන් ආරච්චිගේ පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා වේගවත් ආරම්භයක් ලබාගෙන සිටියි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති පළමු තරගයෙන් ලකුණු 140 ක දැවැන්ත ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම, තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලිය 1-0 ක් ලෙස දැනටමත් පෙරමුණ ගෙන සිටියි. එම තරගයේදී කාමිල් මිෂාර (71), සහන් ආරච්චිගේ (66) සහ මිලාන් රත්නායක (53) පිත්තෙන් දස්කම් දැක්වූ අතර පන්දු යැවීමේදී වනුජ සහන් ලකුණු 13 කට කඩුලු 5 ක් දවාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.
අද තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි වේ. මෙම එක්දින තරගාවලියෙන් අනතුරුව කණ්ඩායම් දෙක අතර සිව්දින තරග දෙකක් ද පැවැත්වීමට නියමිත අතර ඒවා ද හම්බන්තොට ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත.














