රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සිය සේවාවන් නවීකරණය කිරීමේ පියවරක් ලෙස “1930” ක්ෂණික ඇමතුම් අංකය සහ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය ඊයේ (07) දින ජනගත කරන ලදී. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය වන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
මහජනතාවට වඩාත් විනිවිද පෙනෙන සහ කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙහි මූලික අරමුණයි. මින් ඉදිරියට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම තොරතුරු ලබාගත හැකි අතර, අතරමැදියන්ගේ ග්‍රහණයට හසු නොවී සෘජුවම දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වීමට “1930” අංකය හරහා අවස්ථාව සැලසේ.
විශේෂයෙන්ම විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන දරු උපත් ලියාපදිංචිය, විදේශිකයන් සමඟ විවාහ වීම සහ දේපළ ලියාපදිංචි කිරීම් වැනි ගැටලුවලට මෙමගින් කඩිනම් විසඳුම් ලබා දීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, මෙරට රාජ්‍ය පරිපාලන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හඳුන්වා දී ඇත.














