අම්පාර, සමන්තුරේ මල්වත්ත මජීඩ්පුරම් ප්‍රදේශයේදී අද (08) අලුයම වනඅලියෙකු එල්ල කළ ප්‍රහාරයකින් 48 හැවිරිදි තිදරු මවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මජීඩ්පුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි අබුබකර් සබීනා නමැති කාන්තාවකි.
පොලිසිය වාර්තා කරන පරිදි, අද අලුයම 6.30 ත් 7.00 ත් අතර කාලයේදී වනඅලියෙකු ගමට කඩා වැදී ඇත. එම අවස්ථාවේදී කුඹුරට ගොස් සිටි තම පුතු පිළිබඳව සොයා බැලීමට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම කාන්තාව වනඅලි ප්‍රහාරයට ගොදුරු වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නැගෙනහිර වනජීවී සහකාර අධ්‍යක්ෂ ප්‍රසාන්ත විමලදාස මහතා සඳහන් කළේ, වනඅලි ගම් වදින අවස්ථාවලදී ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි. ඇතැම් පිරිස් වනඅලින් නැරඹීමට යාම නිසා මෙවැනි අනතුරු සිදුවීමේ ප්‍රවණතාවක් පවතින බවත්, එය පාලනය කිරීමට මහජන සහයෝගය අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, මියගිය කාන්තාව වෙනුවෙන් හිමිවන රජයේ වන්දි මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් දී ඇති අතර, අදාළ වනඅලියා පළවා හැරීම සඳහා වනජීවී නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් එම ප්‍රදේශයට පිටත් කර යවා තිබේ.














