සිය පාරිභෝගිකයන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක වංචනික ක්‍රියාවන් පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවය යළිත් වරක් විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ලෙස පෙනී සිටින පුද්ගලයින් WhatsApp පණිවිඩ හෝ සෘජු දුරකථන ඇමතුම් ලබා දෙමින් පාරිභෝගිකයන් මුළා කරන බවට තොරතුරු වාර්තා වී ඇත.
මෙම වංචනිකයන් විසින් ජංගම යෙදුම් ස්ථාපනය කරන ලෙස, දුරකථන තිරය හුවමාරු (screen sharing) කරන ලෙස හෝ බැංකු රහස්‍ය අංක (PIN), එක්වරක් පමණක් භාවිත කරන මුරපද (OTP) සහ ක්‍රෙඩිට් කාඩ් පත් විස්තර වැනි සංවේදී මූල්‍ය තොරතුරු ඉල්ලා සිටින බව ගුවන් සේවය පෙන්වා දෙයි. ශ්‍රීලංකන් ගුවන් සේවය කිසිදු විටෙක ටිකට්පත් නිකුත් කිරීම හෝ ප්‍රවර්ධන කටයුතු සඳහා WhatsApp හරහා පාරිභෝගිකයන් සම්බන්ධ කර නොගන්නා බවත්, කලින් ඉල්ලීමක් නොකළ දුරකථන ඇමතුම් ලබා නොගන්නා බවත් මෙහිදී අවධාරණය කර ඇත.
පාරිභෝගිකයන්ගෙන් කිසිදු අවස්ථාවක රහසිගත මූල්‍ය තොරතුරු හෝ ජංගම යෙදුම් ස්ථාපනය කරන ලෙස ඉල්ලා නොසිටින බැවින්, මෙවැනි ඇමතුම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ගුවන් සේවය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඕනෑම ප්‍රවර්ධන වැඩසටහනක් හෝ සන්නිවේදනයක් පිළිබඳව ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය හෝ තහවුරු කරන ලද සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ පමණක් තොරතුරු පරීක්ෂා කර බලන ලෙසත්, සැකකටයුතු සිදුවීම් අදාළ බලධාරීන්ට වාර්තා කරන ලෙසත් වැඩිදුරටත් දැනුම් දී තිබේ.














