අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය අතර සති දෙකක තාවකාලික සටන්විරාමයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර අද (08) උදෑසන සිට නතර කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. පකිස්ථානයේ මැදිහත් වීමෙන් ඇති කරගත් මෙම එකඟතාවට අනුව, ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීමටත් දෙපාර්ශවයම ප්‍රහාර නතර කිරීමටත් එකඟ වී තිබේ. මෙම තත්ත්වය යටතේ හිස්බුල්ලා පාර්ශවය ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට සහ එරට හමුදා ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර තාවකාලිකව නවතා දමා ඇති අතර, ඔවුන් මේ පිළිබඳව ඉදිරියේදී නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතය.
කෙසේ වෙතත් ඊශ්‍රායල පාර්ශවයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර ඇත්තේ මෙම සටන්විරාමය ලෙබනනයට අදාළ නොවන බවයි. ඒ අනුව ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයේ සිය මෙහෙයුම් සහ ගුවන් ප්‍රහාර තවදුරටත් දියත් කරමින් සිටින අතර, සිවිල් වැසියන්ට වහාම ඉවත් වන ලෙස දන්වමින් නව නියෝග ද නිකුත් කර ඇත. සති දෙකක මෙම සටන්විරාම කාලය තුළ ස්ථිර සාම ගිවිසුමකට එළඹීම සඳහා වන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ලබන සිකුරාදා (අප්‍රේල් 10) පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී ආරම්භ වීමට නියමිතව තිබුණද, ලෙබනනය තුළ ඊශ්‍රායල ප්‍රහාර නතර නොවීම හේතුවෙන් කලාපීය තත්ත්වය තවමත් අවිනිශ්චිත මට්ටමක පවතී.














