මාතර, රොටුඹ පනාකඩුව ප්‍රදේශයේදී මීට වසර 19කට පෙර, එනම් 2006 වසරේදී සිදුවූ පස්දරු පියෙකුගේ අභිරහස් ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු දෙනියාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රොටුඹ පනාකඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ත් 56ත් අතර පසුවන පිරිසකි.
පොලිස් පරීක්ෂණවලට අනුව අත්අඩංගුවට ගත් පිරිස අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ ඥාතීන් දෙදෙනෙකු සිටින අතර, මියගිය පුද්ගලයා ද මොවුන්ගේම ඥාතියෙකු බව අනාවරණය වී ඇත. මෙම ඝාතනය සිදුව ඇත්තේ 2006 නොවැම්බර් මස 06 වනදාය. එදින පස්ගොඩ – පිටබැද්දර ප්‍රධාන මාර්ගයේ පනාකඩුව ලී මෝල ඉදිරිපිට බෝක්කුවක් අසල තිබී දම්පහල, විලයාය ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි රංගොඩගේ පියසිරි නමැති පස්දරු පියාගේ සිරුර සොයාගෙන තිබුණි.
දීර්ඝ කාලයක් තිස්සේ යටපත්ව තිබූ මෙම මනුෂ්‍ය ඝාතනය පිළිබඳව ලැබුණු අලුත්ම තොරතුරු මත දෙනියාය පොලීසිය සිදුකළ විශේෂ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් හඳුනා ගැනීමට හැකි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දෙනියාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.















